Sunday, September 4, 2016

අහසේ සිට පෙනෙන සයුරු පතුලේ සුන්දරත්වය


අහසේ සිට පෙනෙන සයුරු පතුලේ සුන්දරත්වය

සිතියම් විද්‍යාවට අනුව කළ ගණනය කිරීම් අනුව සකස් කළ සිතියමකි.

මහ සයුරේ පතුල මහ පොළොවේ මතුපිට හා සමානද? මහ පොළොවේ මතුපිට පියවි ඇසින් දැක ගැනීමට හැකි වුවත් සයුරු පතුල පියවි ඇසින් බලා ගැනීම අසීරුය. එහෙත් සයුරු පතුල දැකබලා ගැනීමේ උත්සාහය ජයගෙන දශක ගණනාවක් ගත වී ඇත. එසේ වුවද සාමාන්‍ය ජනයා අතර ඒ පිළිබඳව ඇත්තේ අල්ප දැනුමකි. මෙතෙක් කර තිබෙන පර්යේෂණවලට සහ නිරික්ෂණවලට අනුව මහ පොළොව මතු පිට හා සමානවුත් ඊට නොදෙවෙනි වූත් සුන්දරත්වයක් සයුරු පතුලේ තිබෙන බැව් හෙළිදරව් වී ඇත. වරෙක මහ සයුර නිසල සමතල බවක් පියවි ඇසට දුරසිට පෙනුනත් එසේ නොවීම විද්‍යාඥයන්ගේ කුතුහලයට හේතුවක් විය. සයුරු පත්ලේ කන්දක වැනි විශාල උස්වූ පෙදෙසක් ඇත්තේ කොතැනද එම සීමාවේ සයුර මතුපිට ඇත්තේ උස් වූ ජල කඳකි. සයුරු පත්ලේ ආගාධයක් ඇත්තේ කොතැනද එම සීමාවේ සයුර මතුපිට ඇත්තේ එවැනිම ආගාධ සීමාවකි. මේ අනුව සයුරු පතුල මහ පොළොව මතුපිට මෙන් වල ගොඩැලි, උස් බිම්, සානු පෙදෙස්, තැනිතලා භූමි වැනි භූ විෂමතා වලින් යුත් පරිසරයක් වෙයි.
ඇමරිකානු නාවික හමුදාවේ අරමුණ වූයේ සිතියම් විද්‍යාවට අනුව කෙරෙන ගණනය කිරීම් තුළින් පියවි ඇසට නොපෙනෙන සයුරු පත්ලේ සැම තැනක්ම නිවැරදිව සොයා ගැනීමයි. මේ අසීරු කටයුත්ත සඳහා ඇමරිකානු නාවික හමුදාව සබ්මැරීන් නිලධාරීන් හා අනෙකුත් පර්යේෂකයන්ගේ සහය ලබා ගැනීමට අදහස් කළේය. ඉතා අසීරු කටයුත්තක් වූ මෙය මිනිස් හිස්කබල පරීක්ෂාකර මොළයේ ප්‍රමාණය තීරණය කර ගැනීමක් හා සමානවිය. මෙහිදී තැනින් තැන හටගෙන තිබෙන කඳු සහ සානු පෙදෙස්වලින් පර්යේෂකයන්ට පෙනී ගියේ ඒ ඒ ස්ථානයට අනුව වෙනස්වන පෘථිවි ගුරුත්වාකර්ෂණයේ ස්වභාවයයි. වසර 1985 දී ඇමරිකානු නාවුක හමුදාව විසින් ජියෝසැට් (Geosat) නම් චන්ද්‍රිකාවක් පෘථිවියේ සිට සැතපුම් 500 ක් ඉහළින් පිහිටි ධ්‍රැවීය කක්ෂයක (Polar Orbit) රඳවන ලදී. පෘථිවියට වඩා වෘත්තාකාර කක්ෂයක ගමන් කළ මේ චන්ද්‍රිකාව මගින් නිකුත් කළ රේඩාර් තරංග පරාවර්තනයෙන් සයුරු පතුල පිළිබඳ තොරතුරු සොයා ගැනීමට හැකිවිය. මෙහිදි මේ චන්ද්‍රිකාව මඟින් නිකුත් කළ අධි සංඛ්‍යාත රේඩාර් තරංග මගින් සයුරු පත්ලේ චිත්‍රයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන්ට හැකිවිය.මේ චිත්‍රය මගින් ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳ නිවැරදි තොරතුරු සහ මිනුම් ලබාගෙන ඇත. මේ නිසා විද්‍යාඥයින් පෘථිවි චුම්භක ක්ෂේත්‍රය පිළිබඳ පියකරු චිත්‍රයක් නිර්මාණය කිරීමට උනන්දු නොවූවත් සිතියම් විද්‍යාවට අනුව කළ ගණනය කිරීම් තුළින් සයුරු පත්ලේ යම් දේශ සීමාවක නිවැරදි තොරතුරු සොයා ගැනීමට උනන්දු විය.
සයුරු පත්ලේ කඳු
ඩේවිඩ් සැන්ඩ්වෙල් සහ වෝල්ටර් ස්මිත් යනු මේ කටයුත්ත සඳහා වඩාත් උනන්දුවෙන් ක්‍රියා කළ විද්‍යාඥයෝ දෙදෙනෙකි. ජියෝසැට් යානයෙන් ලද දත්ත ඉතා සූක්ෂ්මව වර්ගීකරණයකට ලක්කර එමඟින් ගුරුත්වාකර්ෂණ බලයේ ඉතා සුළු වෙනස් වීමක් පවා සොයා ගැනීමට මේ විද්‍යාඥයන් දෙදෙනාට හැකිවිය. සිතියමට අනුව ගුරුත්වාකර්ෂණ බල වෙනස්වීම පුළුල් ඉරි වලින් පැහැදිලිව පෙන්වාදෙන ලදි. මේ ඉරිවලින් සයුරු පත්ලේ තිබෙන කඳු පෙදෙස්වල ස්කන්ධය, සානු පෙදෙස්වල ස්කන්ධයට වඩා වැඩි බැව් පෙනී ගියේය. සයුර මතුපිට තිබෙන ඉහළට එසවුණු නෙරීම් සයුරු පත්ලේ තිබෙන කඳු පෙදෙස්වල ස්කන්ධය සානු පෙදෙස්වල ස්කන්ධයට වඩා වැඩි බැව් පෙනී ගියේය.
මහ සයුරේ මතුපිට තිබෙන ඉහළට එසවුණු නෙරීම් පිළිබඳව චන්ද්‍රිකාවේ නිගමනය වූයේ සාගර පත්ලේ කඳු පෙදෙස් තිබෙන බවයි. ලැමෝන්ට් ඩෝගෙට් පෘථිවි නිරීක්ෂණාගාරයේ භූ විද්‍යාඥ විලියම් හැක්ස්බිට මේ ගෞරවය හිමිවිය යුත්තේ වසර 1980ට පෙරත් නාසා ආයතනයෙන් කක්ෂගත කළ සී සැට් (Sea Sat) චන්ද්‍රිකාව මගින් ලබා ගත් දත්ත අනුව අසම්පූර්ණ වුවත්, අපැහැදිලි වුවත් සිතියම් ඇඳ ඒ තුළින් කිසියම් නව සොයා ගැනීමකට උත්සාහ කිරීම හේතුවෙනි. සී සැට් චන්ද්‍රිකාව මගින් සටහන් කළ භූ රේඛා අතර පරතරය සැතපුම් 30 ක් පමණ වුවත් ජියෝ සැට් චන්ද්‍රිකාව මගින් සටහන් කළ භූ රේඛා අතර පරතරය සැතපුම් 2ත් 4 ත් අතර ප්‍රමාණයක් විය. එසේම සැතපුම් 6ක් තරම් පරතරයක් තිබෙන භූ රේඛාද ඒ අතර විය. සීසැට් චන්ද්‍රිකාවේ රේඩාර් තරංගවල ස්පන්දන පෘථිවියේ මතුපිටට පැමිණ පෘථිවිය මතුපිට පතිතවී නැවත පරාවර්තනය වන කාලයට අනුව චන්ද්‍රිකාව පෘථිවියේ සිට පිහිටා තිබෙන උස නිර්ණය කර ඇත. එම රේඩාර් තරංගවල වේගය ආලෝකයේ වේගයට සමානවෙයි. ඩොප්ලර් ආචරණය මගින් එම චන්ද්‍රිකාව පිහිටා තිබෙන උසත් හා එහි ප්‍රවේගයත් නිර්ණය කර ඇත. එහෙත් චන්ද්‍රිකාවට නියමිත කක්ෂයේ රැඳවී තිබී නැත. හේතුව සූර්ය සුළං මගින් චන්ද්‍රිකාව වෙතට ඇතිකරන බලපෑම් හෙවත් පහරදීම්වලට ගොදුරු වීමය. එබැවින් මේ පර්යේෂණයේදී විද්‍යාඥයන් දෙදෙන ප්‍රධාන කරුණු දෙකක් වෙත ඔවුන්ගේ අවධානය යොමුකර ඇත. ඉන් පළමුවැන්න සයුර මතුපිට සිට චන්ද්‍රිකාව පිහිටා තිබෙන උස සහ දෙවැන්න පෘථිවි කේන්ද්‍රයේ සිට චන්ද්‍රිකාව පිහිටා තිබෙන දුරයි. චන්ද්‍රිකාව මගින් ලබාදුන් දත්තවලට අනුව විද්‍යාඥයන් තීරණය කළේ ජලය මතුපිට ක්‍රියාකරන ගුරුත්වාකර්ෂණ බලය පහළට ක්‍රියාකරණ අතරම සයුරු පත්ලෙන් ඉහළටද ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාකරණ බවය. මේ ගුරුත්වාකර්ෂණ බල දෙකම සයුර මැදදී එකිනෙක හමුවී බලය බිඳී අගය ශූන්‍ය වන බවය. මෙවන් පෙදෙස්වල භූ ලක්ෂණ සිතියමේ පැහැදිලිව සටහන්වී නැත. ජල තලයේ සෑම තැනම පිහිටි ගුරුතවාකර්ෂණ බලයේ දිශාව මේ විද්‍යාඥයන් දෙදෙන විසින් කරන ලද ගණනය කිරීමකින් පසුව එහි විශාලත්වය ගණනය කිරීමට හැකිවිය. ඉන්පසු ඔවුන් කළේ එම දත්ත අනුව සුදුසු වර්ණ යොදමින් දත්ත සිතියම් කිරීමය.
ගුරුත්ව සිතියම
මේ සිතියමෙන් පෙන්වාදුන්නේ මුහුදු පත්ලේ මූලික සැලැස්ම සහ භූ පත්ල සකස් වී ඇති ආකාරයය. සිතියමට අනුව දම් අඳුරු පැහැයෙන් ඉතාමත් ගැඹුරු ආගාධ නිරූපණය කරන අතර මේ ස්ථාන වලදී භූතල එකිනෙක හමුවී ඒවායේ කෙළවරවල් ප්‍රාවරණය තුළට කිඳාබැස ගත් ආකාරයක් පෙන්වයි ඊසාන දිග නවසීලන්තයේ ටොන්ගා ආගාධයේ වෙන් වෙන්ව හඳුනා ගැනීමට හැකියාවක් ඇති ගිනි කඳු පේළියක් දක්නට ලැබේ. මේ සිතියමේ දක්නට තිබෙන විශේෂ අංගයක් වන්නේ විශාල පැළුම් සහිත කලාප පිහිටා තිබෙන ආකාරයක් දක්නට ලැබීමයි. මේ පැළුම් අත්ලාන්තික්, පැසිපික් සහ ඉන්දියන් යන සාගර පත්ල හරහා විහිදී යන බවක්ද දක්නට ලැබේ. මේ පැළීම් ඉතා ගැඹුරුය, මෙහි දක්නට ලැබෙන වැටි (Ridge) හට ගැනීමට හේතුව ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ භූතල දෙකක් හටගෙන ඒ අතරින් ලාවා ගලා ඒමයි. ක්‍රමයෙන් මේ වැටි අතරින් ඈතට යත්ම ලාවා නිසාම හටගත් මඩ තට්ටුවලින් සාගර පත්ල වැසීයන ආකාරයක් දක්නට ලැබේ.
ගුරුත්ව සිතියමේ පැළීම් කලාපය රේඛාවක ආකාරයක් පෙන්වයි. මෙමගින් සාගරවල වර්ධනයත් මහාද්වීපවල හටගැනීමත් පැහැදිලිවම පෙන්වයි. අදින් වසර මිලියන110ක් තුළ සිදුවූ බටහිර අප්‍රිකාව හා උතුරුඇමෙරිකාව ඈත්වීම පෙන්වාදීමට මෙමගින් හැකිවන අතර මහාද්වීප වසරකට අඟල් 1හෝ 2 හෝ ඈත්වන බැව් විද්‍යාඥයෝ පෙන්වාදෙති. මෙහි තිබෙන පළමු සිතියමෙන් පෙන්වා දෙන්නේ දකුණු ඉන්දියානු සාගරයත් ඔස්ට්රේලියාවත් හා ඇන්ටාටිකාවත් එකිනෙකට ඈත්වීමය. මේ පැළීම් මගින් පෙන්වා දෙන්නේ ඉන්දියාව ආසියාවට යාවීම සඳහා පාවීගිය මාර්ගයයි. එය හිමාලය බිහිවීම සඳහා හේතුවූ ගැටුමේ සලකුණක් පමණි. මධ්‍ය අත්ලන්තික් වැටිය අත්ලන්තික් සාගරයේ මැද ග්‍රීන්ලන්තයේ ජාන්මේයන් හි සිට කේප් හෝන් දක්වා විහිදී යයි. එහි ගිනිකඳු ක්‍රියාවලිය උපරීම වී පසුව ගොඩබිමක් බවට පත්වී ඇත.

No comments:

Post a Comment